ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන 2017- වයඹ පළාත

ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන  2017- වයඹ පළාත

සීඝ්‍ර ජනගහන වර්ධනයත් සමඟ මිනිසාගේ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සීමිත සම්පත් අවිධිමත් ලෙස පරිභෝජනය කිරීම තුළින් ගෝලීය උෂ්ණත්වය ඉහල යාම, දේශගුණ විපර්යාස, හරිතාගාර ආචරණය, පාංශු ඛාදනය, ජල මුලාශ්‍ර විනාශ වීම ආදී පාරිසරික ගැටළු රැසක් උද්ගත වී ඇත. මිනිසාගේ සහ අනෙකුත් ජීවින්ගේ යහපැවැත්ම උදෙසා සොබාදහම සමඟ වූ සබැදියාව තිරසර ලෙස පවත්වා ගැනීම සඳහා පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව මේ වන විට ලෝකවාසී ජනතාවගේ විශේෂ අවධානය යොමු වී ඇත.

ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී 1972 වර්ෂයේ පැවති ජාත්‍යාන්තර පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම් කර ඇත.එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් මෙම වසරේ ජගත් පරිසර දින තේමාව ලෙස “(Connecting People to Nature)” යන්න ඉදිරිපත් කර ඇත. ඒ අනුව “සොබා දහම හා බැදුණු ජනතාවක්” යන තේමාව යටතේ වයඹ පළාත් ජගත් පරිසර උත්සවය බිංගිරියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර,එහි දී එම දේශගුණයට ඔරොත්තු දෙන ශාක සිටුවීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන සඳහා පළාතේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් සිසු දරුවන් හා මහජනතාව සහභාගී වීමට නියමිතය.

වයඹ පළාතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හරිත අරුණළු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සමාරම්භයක් ලෙසද මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව වයඹ පළාතේ පාසැල් පරිශ්‍ර තුළ රජයේ ඉඩම්, වැව් රක්ෂිත ප්‍රදේශ, ප්‍රජා මුල සංවිධාන පරිශ්‍ර ආදී විවිධ තෝරාගත් ප්‍රදේශ වල විවිධ වැඩසටහන් හරහා වනගහනය වර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

අරමුණු

  1. ජගත් පරිසර දින වැඩසටහනට සමඟාමීව වයඹ පළාතේ වනගහනය නැවත ස්ථාපිත කිරීමේ වැඩසටහනට ආරම්භයක් හා ආදර්ශයක් ලබා දීම
  2. දේශපාලන නායකත්වය පාසැල් ප්‍රජාව, රාජ්‍ය නිලධාරීන් හා පොදු මහජනතාව පරිසර සංරක්ෂණය කිරීම කෙරෙහි යොමු කිරීම
  3. ජල පෝෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම
  4. පරිසර උෂ්ණත්වය ඉහළ යාම වැළැක්වීමට දායක වීම
  5. පරිසරයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු කිරීමට දායක වීම
  6. පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම

දිනය                                         - 2017.ජුනී 05

ස්ථානය                                     - ග්‍රීන්ගාර්ඩන් එස්ටේට් බිංගිරිය

සහභාගි වන සංඛ්‍යාව                  - 1500

ප්‍රතිලාභීන්                                 - වයඹ පළාත් ජනතාව

ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමිව වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් සංවිධානය කරන ලද වයඹ පළාත් පරිසර දින සැමරුම් උළෙල 2017.06.05 දින බිංගිරිය දැදුරු ඔය ආශ්‍රිත පරිසර කලාපයේදී පැවත්විණි. මෙහිදී අක්කර දෙකකට වැඩි භුමි ප්‍රමාණයක වටිනා පැල වර්ග රෝපණය කරනු ලැබුණු අතර පාසල් ළමුන් විසින් මෙම පැල වර්ග රෝපණය කරන ලදී.

මෙහිදී පාසල් ළමුන් සදහා පරිසර නියමු පදක්කම් පැලදීම සහ සහතිකපත් ප්‍රදානයක්ද සිදුවිය.මීට සමගාමිව වයඹ පළාත් තුල විවිධ ශාක වර්ග රැසක් රෝපණය කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා පැවසීය.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතය ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහභාගී විය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක. වයඹ පළාත් ආණ්ඩුකාරවර අමරා පියසීලි රත්නායක,වයඹ පළාත් ප්‍රධාන ලේකම් තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *